හල්ඔලුවට වෙඩි තිබ්බ සැකකරුවන් ගැන දුන් තීරණය...

හල්ඔලුවට වෙඩි තිබ්බ සැකකරුවන් ගැන අධිකරණය දුන් තීරණය...

by Staff writer 28-05-2025 | 8:28 PM

COLOMBO (News 1st) - ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතාගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (28) අත්අඩංගුවට පත් තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අවසර දුන්නේ ය.

අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ ය.

නඩුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ කැඳවූ අතර එම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධව තමාට ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව එක් සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයාට පවසා තිබේ.

සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව ඇතුළු අනෙක් සැකකරුවන් තිදෙනා හෙට (29) දින පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය.

නඩුව හෙට යළි කැඳවීමට නියමිතයි.

මෙම සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.