.webp)
ඒ, කොළඹ නිදහස් චතුරස්‍රයේදී ය.
දේහය, අද උදෑසන 8 ට පමණ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ සිට නිදහස් චතුරස්‍රය කරා රැගෙන යයි.
නිදහස් මන්දිරයේ තැන්පත් කෙරෙන දේහයට, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරව දැක්විය හැකියි.
පස්වරු 3. 30 ට පමණ, ඇය සිප්සතර හැදෑරු කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුන් සහ කලාකරුවන් එක්ව, දේහය, ආගමික වතාවත් කිරීම සඳහා ඉදිකළ විශේෂ පීඨිකාව වෙත රැගෙන යයි.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැනූ විශේෂ චිතකයේදී ය.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක්, ඊයේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට පැමිණියේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද, ඒ අතර විය.
කලා කේෂත්‍රයේ සියලු අංශයන් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් ඊයේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවට පැමිණ සිටියේ, සිය යෙහෙළියට සමුදීමටයි.
මාලනී ෆොන්සේකාට පෙම් බැඳි ඇතැම් සිනමාලෝලීන් පැමිණ සිටියේ මල් කළඹ ද, අතැතිවයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 78 කි.
හෙළ සිනමාවට නිධානයක් වූ ඇය, ලක් මාතාවට සදාතනික සජීවී පුරාවෘත්තයකි.