ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

තීරුබදු ගැන සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

by Staff writer 23-05-2025 | 10:43 PM

COLOMBO (News 1st) - තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්, අමෙරිකාවේ වොෂින්ටන් ඩීසි බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනුවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවැනි පුද්ගල මට්ටමේ සාකච්ඡාව මෙයයි.

එම සංචාරයට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි.

ඉදිරි සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.