ජාතික රණවිරු දින සැමරුම අභිමානවත්ව...

යුද්ධයේ බිහිසුණුම වේදනාවන්වලින් අත්දැකීම් ලබපු මිනිස්සු අපි,ජනපති රණවිරු සැමරුමේදී කියයි...

by Staff writer 19-05-2025 | 9:27 PM

COLOMBO (News 1st) - 16 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල, අද (19) බත්තරමුල්ලේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව සැමරිණි.

උත්සවය ආරම්භ වූයේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණිමත් සමගයි.

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙන්ම, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක මහතාද ජාතික රණවිරු  අනුස්මරණ දින සැමරුම් උළෙලට එක්ව සිටියේ ය.

රණක්ෂිතයට පත් විරෝධාර රණවිරුවන් සහ දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමට පැමිණ සිටියහ.

රණබිමේදී දිවි පිදු විරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුනේ ඉන් අනතුරුවයි.

රණවිරුවන්ට උපහාර පුද කරමින් රණ බෙර වාදනය සිදුකෙරුණේ යුධ , ගුවන් , නාවික සහා පොලිස් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වාදන ශීල්පීන්ගේ සහභාගීත්වයෙනි.

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ආරම්භ කෙරුනේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙනි.

මව්බිමේ ස්වෛරත්වය වෙනුවෙන් දිවිපිදු සහ දායකත්වය ලබාදුන් රණවිරුවන් සිහිකරමින් ඔවුන්ගේ ළඟම ඥාතීන් රණවිරු ස්මාරකට පුෂ්පෝපහාර දැක්වූහ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලුවේය.