චාමර ගැන රනිල් කියපු කතාව අසත්‍යක්

චාමර ගැන රනිල් කියපු කතාව සම්පූර්ණයෙන් අසත්‍යක් - අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

by Staff writer 16-05-2025 | 3:43 PM

COLOMBO (News 1st) -පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ 
සිදු කර ඇත්තේ සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද(16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

චාමර සම්පත් මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ,රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය, පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල් ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත් කර ගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු වීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා එම මාධ්‍ය හමුව චාමර සම්පත් දසනායත මහතාගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකර ඇති බවට, පසුගිය අප්‍රේල් 28 වැනිදා වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් පැවසූ බවයි.

අදාළ රාජ්‍ය බැංකුවේ ස්ථාවර ගිණුම් කල් පිරීමට පෙර ඉවත් කර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවන ලෙස  2011/11/ 22 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් සැකකරු ස්ථාවර තැන්පතුවල මුදල් ලබා ගෙන ඇත්තේ චක්‍රලේඛය නිකුත් කිරීමට මාස 9කට පෙර බව විමර්ශන නිලධාරීන් අධිකරණයට හෙළි කළේ ය.

ඔවුන් ඉල්ලා සිටියේ සැකකරු ඇප මත සිටිමින් මෙම විමර්ශනයේ යුක්තිය පසිඳලීමේ කටයුත්තට බාධා කරන බැවින් ඔහුගේ ඇප අහෝසි කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.