සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය

සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය

by Staff writer 13-05-2025 | 5:42 PM

COLOMBO (News 1st) - සිරසා නමාමි, සිරස වෙසක් කලාපය අද දෙවැනි දිනටත් සැදැහැවතුන්ට විවෘත විය.

සිරසා නමාමි, සිරස වෙසක් කලාපයට සැදැහැවතුන් විශාල  පිරිසක් මේවන විටත් පැමිණෙමින් ඇත.

පැමිණෙන සැදැහැවතුන්ට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමුඛ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ භාග්‍ය හිමිවේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවූ  සර්වඥ ධාතූන් වහන්සේ, ඇතුලු ධාතූන් වහන්සේ මෙන්ම ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිටින, 1886 දී චූලාලංකාර රජු මෙරටට දායාද කළ ධාතූන් වහන්සේ ද සිරසා නමාමි සිරස වෙසක් කලාපයේදී වැඳපුදා ගැනීමට හැකියි.

මෙවර සිරසා නමාමි සිරස වෙසක් කලාපය සර්වඥ ධාතු වන්දනා, දන්සැල්, තොරණ,වෙසක් කූඩූ ,බැති ගී ආදියෙන් සමන්විතයි.

සිරසා නමාමි සිරස වෙසක් කලාපයේ තොරණින් අන්ධභූත ජාතක කතා පුවත නිරූපනය කෙරේ.

මේ අතර, අසිරිමත් සම්බුදු තෙමගුල නිමිත්තෙන් සිරස මාධ්‍ය ජාලයේ දෙපානම විකාශන මධ්‍යස්ථානයත් විචිත්‍රවත් අයුරින් ඒකාලෝක කර තිබිණි.

මේ අතර, සිරසා නමාමි වෙසක් කලාපයට සමගාමීව ක්‍රියාත්මක බුද්ධාභිවන්දනා 2025 කොළඹ මහ නගර සභා වෙසක් කලාපයේ දෙවැනි දිනය අදයි.

ඊයේ (12) පස්වරුවේ කොළඹ පුරහල චතුරස්‍රය ආශ්‍රිත නගර සභා භූමියේදී ආරම්භ වුණු බුද්ධාභිවන්දනා 2025 කොළඹ මහ නගර සභා වෙසක් කලාපය දන්සැල්, භක්ති ගී සංදර්ශන, මෙන්ම අලංකාර වෙසක් පහන් කූඩු, ඇතුලු විචිත්‍රාංග රැසකින් සමන්විත වේ.

බුද්ධාභිවන්දනා වෙසක් කලාපය හෙට (14) අවසන් වීමට නියමිතයි.

සිරස වෙසක් කලාපයත් අයත් පරිශ්‍රයේ පිහිටි අපේ පන්සල - හුණූ පිටිය ගංගාරාම පරිශ්‍රයත් සම්බදු තෙමගුල වෙනුවෙන් ආලෝකමත්වී තිබේ.

කොළඹ, හුණුපිටිය ගංගාරාම පරිශ්‍රයේ පැවැත්වෙන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයේ දෙවැනි දිනය අදයි.  

ගංගාරාමයේ ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ඊයේ (12) ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරේ.

විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එහි පැමිණ සිටියේ ය.

‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය පහන් කූඩු, තොරණ, බැති ගී, සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විතයි.