'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය

'සිරසා නමාමි' සිරස වෙසක් කලාපය

by Staff writer 12-05-2025 | 5:26 PM

COLOMBO (News 1st) - සුවහසක් බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ සර්වඥ ධාතු වන්දනාව අද (12) පස්වරුවේ ආරම්භ විය.

මේ වන විටත්, ඒ වෙනුවෙන් සැදැහැවතුන් විශාල පිරිසක් සිරසා නමාමි වෙසක් කලාප පරිශ්‍රයට පැමිණෙමින් ඇත.

සිරසා නමාමි සිරස වෙසක් කලාපයේ ප්‍රදර්ශනය කෙරෙන, අන්ධභූත ජාතක කතා පුවත ඇතුලත් තොරණ විවෘත කිරීමට සහ දන්සැල විවෘත කිරීම තවත් නොබෝ වේලාවකින් සිදුකිරීමට නියමිතයි.

සුවහසක් බෞද්ධ ජනයාගේ වන්දනා මානය උදෙසා සිරස වෙසක් කලාපයට, සර්වඥ ධාතූන් වහන්සේ, ඇතුලු ධාතූන් වහන්සේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවීම ආරම්භ වූයේ පසුගිය මැයි  9 වැනිදායි.

ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර නිට්ටඹුව ,කලගෙඩිහේන ,යක්කල මිරිස්වත්ත ,බැලුම්මහර ,කිරිල්ලවල ,ඇල්දෙනිය,කඩවත ,මහර,කිරිබත්ගොඩ, තොරණ හන්දිය ,වරාගොඩ මාර්ගය හරහා ඊයේ(11) කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණියේ ය.

අද උදෑසන නැවතත් ධාතූන් වහන්සේ වැඩම කරවීම ආරම්භ වූයේ කැලණිය රජ මහා විහාරස්ථානයෙදී දී සිදු කළ  ආගමික වතාවත්වලින් අනතුරුවයි.

කැලණිය රජමහා විහාරස්ථානයේ සිට අංගොඩ හන්දිය හරහා කලපළුවාව හන්දිය දක්වාත් කොස්වත්ත ,බත්තරමුල්ල ,දියතඋයන ,රාජගිරිය ,ඩී එස් සේනානායක හන්දිය ,නෙළුම්පොකුණ වටරව්ම හරහා කොළඹ මහ නගර සභා පරිශ්‍රයට ධාතු වහන්සේ වැඩම කෙරිණි.

ඒ මඟ දෙපස සැදැහැවතුන්ට වන්දාකිරීමට ද අවස්ථාව සළසා දෙමිනි.

අද දහවල් සම්බුද්ධ පූජාව පැවැත් වුණේ කොළඹ මහ නගර සභාවට පරිශ්‍රයේදී පිහිටි බුද්ධාභිවන්දනා වෙසක් කලාපයේදීයී.

ධාතූන් වහන්සේ රිය පෙරහැරකින් කොළඹ බේබෲක් පෙදෙසේ  පිහිටි සිරසා නමාමි සිරස වෙසක් කලාපයට වැඩමවූවේ අද පස්වරුවේයි.

මේ අතර ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිටින, 1886 දී චූලංකාර රජු ලංකාවට පරිත්‍යාග කළ බවට සැලකෙන ධාතූන් වහන්සේ ද අලංකාර රිය පෙරහැරකින් සිරසා නමාමි සිරස වෙසක් කලාපය වෙත වැඩම කෙරිණි.

අද(12) සහ හෙට(13) දෙදින පුරා සිරස වෙසක් කලාපයට පැමිණෙන ඔබ සැමට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ භාග්‍ය උදාවේ.

ෙමේ අතර, අද සිට දින 04 ක් පුරා සිරසා නමාමි සිරස වෙසක් කලාපයේ ඇති මනරම් තොරනින් අන්ධභූත ජාතක කථා වස්තුව නිරූපණය කෙරේ.

වෙසක් කලාපයේදී ඔබට අලංකාර පහන් කූඩු  සහ රූකඩ සංදර්ශන ද නැරඹිය හැකියි.

සැදැහැ ගී සරණියක් ද සංවිධානය කර තිබේ.

ඊට අමතරව අද සහ හෙට සිරසා නමාමි වෙසක් කලාපයට පැමිණෙන ජනතාව වෙනුවෙන් මහා බත් දන්සැලක් ද ක්‍රියාත්මකයි.

මේ අතර, සිරස වෙසක් කලාපයේ වෙසක් මහා පෙරහැර, අද රාත්‍රී 7 ට වීදි සංචාරය කිරීමට නියමිත වේ.

එම පෙරහැර සිරස මූලස්ථාන පරිශ්‍රයේ සිට, ඩෝසන් වීදියෙන්, පාක් ස්ට්‍රීට් ඔස්සේ කොළඹ පුරහල අසළින් ලිප්ටන් වටරවුම පසුකර, යූනියන් පෙදෙස හරහා, නැවත වෙසක් කලාපයට පැමිණෙනවා.