සභික නාම ලේඛනය ගැන දැනුම් දීමක්....

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ගැසට් නිවේදනය කාන්තා නියෝජනය ගැන තීන්දු කිරීමෙන් පසු.. - මැතිවරණ කොමිසම

by Staff writer 08-05-2025 | 8:09 AM

COLOMBO (News1st) - පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය, කාන්තා නියෝජනය පිළිබඳව තීන්දු කිරීමෙන් පසු නිකුත් කරන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, පක්ෂවලින් තෝරා ගතයුතු කාන්තා සභික සංඛ්‍යාව තීන්දු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය  25% ක් විය යුතුයි.

ඒ අනුව ජයග්‍රහණය කළ පක්ෂවල ඡන්ද ප්‍රතිශත මත, සූත්‍රයක් හරහා ඒ ඒ පක්ෂ වල කාන්තා නියෝජිත සංඛ්‍යාව පිළිබඳව තීරණය කරන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඉන් අනතුරුව, අදාළ කාන්තා නියෝජිතවරියන් නම්කර එවන්නැයි දේශපාලන පක්ෂ වලට දැනුම් දෙන බවයි.

ඊට අදාළ සියලු කටයුතු අවසන් වූ පසු, 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බව, සභාපතිවරයා සඳහන් කළේ ය.

සභාපතිවරුන්, උප සභාපතිවරුන් ඇතුලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ, ඉන් අනතුරුවයි.

ඒ අනුව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් දේශපාලන පක්ෂවලට සභාපතිවරුන්ගේ සහ උප සභාපතිවරුන්ගේ නම් ලැයිස්තුව ලබාදෙන ලෙස දැනුම්දීමක් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

50% අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ක්‍රියාවලිය, පළාත් කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතන රැස්වීමෙන් පසු සිදුවනු ඇති.

පළාත් පාලන ආයතනවල නිල කාලය බලාත්මක වන්නේ, ජුනි 2 වැනිදා සිටයි.