මහජන උපයෝගීතා කොමිසමෙන් තෙල් සංස්ථාවට ලිපියක්

විදුලි ජනනයට ඉන්ධන නිකුත් කරන මිල විමසා මහජන උපයෝගීතා කොමිසමෙන් නීතිගත සංස්ථාවට ලිපියක්

by Staff writer 10-12-2024 | 3:22 PM

විදුලිය ජනනයට සැපයෙන ඉන්ධන සඳහා අය කරන මිල ගණන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි, මහජන උපයෝගීතා කොමිසම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.

COLOMBO ( News1st) - ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලිපියක් යොමු කරමිනි.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, පනතේ 15 වැනි වගන්තිය ප්‍රකාරව අදාළ ඉල්ලීම සිදු කළ බවයි.

එම වාර්තාව ද  විදුලිය ගාස්තු සංශෝධනයට අදාළව සවිස්තර කරුණු අධ්‍යනයට යොදා ගැනීම සිය අරමුණ බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

මේ අතර සිය අධ්‍යයනය හා මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බවයි.

තවත් සති දෙකකින් පමණ පසු මහජන අදහස් ලබාගැනීම ආරම්භ කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

පවතින විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස 06 දී ද එලෙසම පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා (06) දැනුම් දී තිබේ.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයින් මෙතෙක් පත්කර නොමැත.

මහජන උපයෝගිතා කොමිසම සභාපති ඇතුළු සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතයි.

එහෙත් මෙතෙක් පත්කර ඇත්තේ, කොමිසමේ සභාපතිවරයා පමණි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය යොමු කළ යෝජනාව අධ්‍යනයට එම පත්කිරීම් සිදු නොවීම කිසිදු බාධාවක් නොමැති බවයි.

ඉදිරි දින කිහිපය තුළ කොමිසමේ සෙසු සාමාජිකයින් පත්කරනු ඇතැයි, අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.