ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්...

by Staff writer 24-07-2024 | 3:38 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට  ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් රජයේ මුදල් සහ සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත  කිරීමක් සිදු කෙරන බවයි.

එම ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා ප්‍රජා උපදේශන කමිටු  පිහිටුවා ඊට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කර ඇති බව නීතිඥවරයා සඳහන් කළේ ය.

රජයේ  සම්පත් පොදු ජනතාව වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම මේ හරහා සිදුවන බැවින් මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි ක්‍රියා අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන්  ඉල්ලා කළේ ය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා ය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය.