මැතිවරණයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ගන්න ලංසු කැඳවයි

මැතිවරණය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට ලංසු කැඳවයි

by Staff writer 23-07-2024 | 5:57 AM

COLOMBO (News 1st) - මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින්  මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ. 

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට (24) සහ අනිද්දා (25) පැවැත්වෙනු ඇත. 

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති. 

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නොමැකෙන තීන්ත, ඡායා පිටපත් හා මුද්‍රණ කඩදාසි, මුද්‍රිත සහ දත්ත මුද්‍රිත ලිපිකවර, ලිපිද්‍රව්‍ය  සහ මැතිවරණ ක්‍රියාවලියට අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා මෙලෙස ලංසු කැඳවීමට තීරණය කර ඇති බවයි. 

එළඹෙන අගෝස්තු 02 වැනි දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කිරීමට නියමිත වේ. 

මේ අතර මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පැවසීය. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි.