ධාවන ඉසව්වලට සහභාගී වන ළමුන්ට දැනුම්දීමක්..

ධාවන ඉසව් ඇතුළු ක්‍රීඩා සඳහා ඉදිරිපත් වන පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකය අනිවාර්ය කෙරේ..

by Staff writer 15-07-2024 | 10:04 AM

COLOMBO (News 1st) - ධාවන ඉසව් හා දැඩි ලෙස කය වෙහෙසා සිදු කරන ක්‍රීඩාවලට ප්‍රථම පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා  ප්‍රධාන රෝහල් වල ක්‍රීඩා වෛද්‍ය ඒකක ස්ථාපිත කර, ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වන ළමුන්ට සඳුදා සිට සිකුරාදා දක්වා දවසපුරා සහ සෙනසුරාදා උදේ වරුවේ අදාළ රෝහල් වෙත යොමු වී එම යෝග්‍යතා සහතිකය ලබා ගත හැකි බවයි.

එහිදී ECG පරීක්‍ෂණ සිදු කෙරෙන බවත් ඒ සඳහා කල් තබා අදාළ වෛද්‍ය ඒකකයෙන් දින වෙන් කර ගෙන ඊට සහභාගි වීම මගින් අනවශ්‍ය කලබලය හා දෙමව්පියන් අපහසුතාවට පත් වීම වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ක්‍රීඩා යෝග්‍යතා සහතිකයේ වලංගු කාලය වසරකි.

එම සහතිකය හිමි ක්‍රීඩකයෙකු ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ලවාද සහතික කර ගත හැකියි.

ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණක් ක්‍රීඩා යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට බලය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.