ජනපති පොසොන් පොහෝ දින පණිවුඩය..

මිහිඳු හිමියන් දෙසූ දහම දියුණු රටක් ගොඩනැගීමට ඉවහල් කර ගන්න - ජනපති පොසොන් පොහෝ දින පණිවුඩයෙන් ඉල්ලයි..

by Staff writer 21-06-2024 | 8:30 AM

COLOMBO (News 1st) - මිහිඳු හිමියන් දෙසූ දහම මෙරට පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටලු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කර ගනිමු යැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පවසන්නේ, පොසොන් පොහොය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව බෞද්ධයන් සමරන පූජනීය දිනය බවයි.

බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වන බවද ජනාධිපතිවරයාගේ පොසොන් පෙහෝ දින පණිවුඩයේ සඳහන් ය.

මේ අතර, ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ලක්වැසියා පෙරට ආවේ මිහිඳු හිමියන් වදාළ මහා දර්ශනයේ ජීව ගුණයෙන් බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පොසොන් පෙහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍යවරයා පවසන්නේ , එම උතුම් ගුණධර්ම පෙරදැරි කොටගත් සමාජය උදෙසා වන පින්බර පොසොන් පොහෝ දින පිළිවෙතින් පෙළගැසෙමු යන්නයි.

බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මයේ පහස ලබමින් ඉන් ආභාෂය ලබන අප සැමට සාධාරණය ඉටුවන පාලනයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායකවරයා තම පොසොන් පොහෝ දින පණිවුඩයෙන් පෙනවා දෙයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ආරක්ෂා කරමින් බුදුදහමින් අපට කියා දුන් විනයවත්, සුචරිතවත් ජන සමාජයක් නිර්මාණය කර දසරාජ ධර්මයෙන් යුතුව රට පාලනය කිරීමේ යුගයක් අප සැම එක්ව නිර්මාණය කළ යුතු බවයි.