ඉන්දියාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාස මිතුරෙක්

ඉන්දියාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙක් - ඉන්දීය විදේශ ඇමති කියයි

by Staff writer 21-06-2024 | 6:12 PM

COLOMBO (News 1st) - ඉන්දීයාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙකු බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

ඒ, ඔහු මෙරට සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා පිටත්ව යාමෙන් පසු සිය X ගිණුමේ සටහනක් තබමිනි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා එක්දින සංචාරය නිමාකර ඊයේ (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.

සංචාරය පිළිබඳ සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ, තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායිව නිමා කළ බවයි.

ඔහුගේ එක්දින සංචාරය අතරතුර පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු අතර අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත විය.

එමෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද පැවති අතර එහිදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟවී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැවැත්වුණේ ඉන් අනතුරුවයි.

මෙරට දෙමළ පක්ෂ නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු අතර එම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු සහ විපක්ෂය නියෝජනය කර මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.