ලොකී ෆර්ගසන්ගේ ලෝක වාර්තාව

T20 ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ලොකී ෆර්ගසන්ගේ ලෝක වාර්තාව

by Chathuranga Rajapaksha 18-06-2024 | 11:25 AM

COLOMBO ( News 1st) - නවසීලන්තය මෙවර 20යි 20 ලෝක කුසලානය තුළින් ඉවතට විසි වුණත් සුවිශේෂි වාර්තාවක් 20යි 20 පිටිය තුළ සනිටුහන් කිරීමට සමත් වුණා.

ඒ, පැපුවා නිව්ගිනි කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී ය.

එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නවසීලන්තයේ ලොකී ෆර්ගසන් ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 4 තුළ කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

20යි 20 ජාත්‍යන්තර පිටිය තුළ මෙවැනි දස්කමක් දැක්වූ දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

මීට පෙර කැනඩාවේ සාද් බින් සෆර් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී පැනමා කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබෙනවා.

එහිදී ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 4 තුළ කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා.

නමුත් ලොකී ෆර්ගසන් පැපුවා නිව්ගිනි කණ්ඩායමට එරෙහිව මේ දැක්වූ දස්කම 20යි 20 ලෝක කුසලාන තරගයක සනිටුහන් වූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. 

මෙම තරගයේදී නවසීලන්ත පන්දු යැවීම හමුවේ පැපුවා නිව්ගිනි ඉනිම ලකුණු 78කට සීමා වුණා.

ෆර්ගසන්ගේ කඩුලු දඩයම බවට පත් වූයේ පැපුවා නිව්ගිනි නායක අසාද් වාලා, චාල්ස් අමිනී සහ චැඩ් සෝපර්. 

මෙම තරගයෙන් නවසීලන්තයට කඩුලු 7ක පහසු ජයක් හිමිවුණා.

33 හැවිරිදි වියේ පසුවන ලොකී ෆර්ගසන් නවසිලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 42ක් ක්‍රීඩා කර ලබා ඇති කඩුලු ගණන 61ක්.

ලකුණු 21කට කඩුලු 5ක් දවා ගැනීම ඔහුගේ 20යි 20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමයි.