බාලි සමුළුව ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

ලොව බිලියනපතියන්‍ගේ සහභාගීත්වයෙන් අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණය පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව ඇරඹෙයි

by Staff writer 13-06-2024 | 12:18 PM

COLOMBO (News 1st) - අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණය පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව අද (13) පෙරවරුවේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ආරම්භ විය.

ආසියා-පැසිෆික් කලාපයේ අමාත්‍ය මට්ටමේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සමුළුවට එක්ව සිටිනු ඇත.

මිනිස් ජාවාරම, නීති විරෝධී සංක්‍රමණ ඇතුළු නුතන වහල්භාවයට එරෙහිව ආසියා පැසිෆික් කලාපයේ ක්‍රියාකාරී ප්‍රමුඛතම සංවිධානය වන්නේ, බාලි සමුළුවයි.

රාජ්‍ය හා ව්‍යාපාරික සමුළුව එහි ක්‍රියාකාරී ප්‍රමුඛතම සාකච්ඡා ප්‍රවේශයයි.

අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණය පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව සංවිධානය කෙරුණේ සීමාසහිත කැපිටල් මහරාජා සමූහය සහ ගම්මැද්ද මූලිකත්වයෙනි.

ඔස්ට්‍රේලියානු බිලියනපති ව්‍යාපාරික ආචාර්ය ඇන්ඩෘ ෆොරස්ට් සහ ඉන්දුනීසියාවේ බිලියනපති ව්‍යාපාරික ගැරීබෝල්ඩි තොහීර් යන මහත්වරුන් සමුළුවේ සමසභාපතිත්වය දරන අතර සමුළුවේ ශ්‍රී ලංකා නායකත්වය දරන්නේ ගම්මැද්ද නායක හා සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතායි.

අද පෙරවරුවේ පැවති සමුළුවේ සමාරම්භක අවස්ථාවට කලාපීය රාජ්‍යයන්වල නියෝජිතයින්, දෙස්, විදෙස් පුමුඛතම සමාගම් ප්‍රධානීන්, තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික රැසක් සහභාගී විය.

සමුළුවට සහභාගී වූ පිරිස පිළිගත්තේ සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ශෂී රාජමහේන්ද්‍රන් මහතායි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමුළුව වෙනුවෙන් විශේෂ පණිවුඩයක් ද නිකුත් කර තිබුණි.

අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණය පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුව නර්තනාංග කිහිපයකින් ද වර්ණවත් විය.

අනාරක්ෂිත ශ්‍රමික සංක්‍රමණය පිටුදැකීම සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ ශ්‍රී ලංකා සමුළුවේ සාකච්ඡා වට කිහිපයක් අද ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සඳහා වන, නව ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමට ද නියමිතයි.