රිමල් සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්..

රිමල් සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්..

by Staff writer 27-05-2024 | 6:57 AM

COLOMBO (News 1st) -  නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර තිබේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තවදුරටත් මෙරට මුහුදු කලාපයට ඉන් බලපෑම් එල්ල වන බවයි.

ඒ අනුව මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි ය. 

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.

ගංඟා වල ජල මට්ටම් තරමක් පහළ යමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

එහෙත්, කැලණි, කළු සහ නිල්වලා ගංඟා මෙන්ම අත්තනගලු ඔය ඇතැම් ප්‍රදේශ වලින් තවදුරටත් අවදානම් ය.

මේ අතර, දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මකයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වෙයි. 

මේ අතර අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 1694 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 13 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එහි අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, වර්ෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176 ක පුද්ගලයින් 43,428 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

වැසි සහිත අවස්ථාවලදි ගස් යට රැඳී සිටීමෙන් සහ ගස් යට වාහන නතර කිරීමෙන් වළකින්නැයි ද ඔහු ජනතාවට දැනුම් දෙයි.