.webp)
සුළි කුණාටුව නම්කර ඇත්තේ, රීමාල් ලෙසයි.
එය හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
මේ හේතුවෙන් ගිනිකොණ දිග අරාබි මුහුදේත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත්, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලත් සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.
ඒ අනුව එම ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතුයි.
මේ අතර සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකිය.
බස්නාහිර සහ වයඹ පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකි.
කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අත්තනගලු ඔය ද දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.
කළු ගඟ රත්නපුරය ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමේ පවති.
කැලණි ගඟේ අතු ගංඟාවක් වන කෙහෙල්ගමුව ඔය අවදානම් මට්ටමේ පවතින්නේ, නොර්වුඩ් ප්‍රදේශයෙනි.
ඊට අමතරව නිල්වලා ගඟ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් මෙන්ම දැදුරු ඔය මොරගස්වැව ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතිනු ඇත.
මේ අතර දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වේ.
මේ අතර අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.