වැඩි කළ වතු සේවක වැටුප් ගැන දැනුම්දීමක්..

වැඩි කළ වතු සේවක වැටුප් ගැන ඇමති රංජිත් සියඹලාපිටියගෙන් දැනුම්දීමක්..

by Staff writer 25-05-2024 | 12:08 PM

COLOMBO (News 1st) - වතු සේවකයින්ගේ වැටුප් වැඩිවීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප ඉහළ නැංවීම එදින සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජය සතු වැවිලි ඉඩම් බදු ගත් සමාගම් 24 ක් පමණ පවතින බවත් යම් සමාගමක් එම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි.

අදාල සමාගමට එවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව භාහිර ගැටළුවක් නොඑසේ නම් එය අභ්‍යන්තර ගැටළුවක්ද යන්න එම කමිටුව මගින් සොයා බැලීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල අභ්‍යන්තර ගැටලුවක් නම් එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවයි.