නිල්වලා ගඟ,දැඳුරුඔය ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත්

නිල්වලා ගඟ හා දැඳුරුඔය ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත් ඉහළට.... විමසිලිමත්වන්නැයි ජනතාවට උපදෙස්‍..

by Staff writer 25-05-2024 | 7:38 AM

COLOMBO (News 1st) - නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, පවතින වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. 

බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල , මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. 

පවතින වර්ෂාව හමුවේ  නිල්වලා ගඟ , පානදුගම ප්‍රදේශයෙන් හා දැඳුරු ඔය මොරගස්වැව ප්‍රදේශයෙන් ගංවතුර අවදානම ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් හා අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර තත්ත්වයේයි. 

මහඔය, කැලණි,  ගිං හා බෙන්තර යන ගංගාවල ජල මට්ටම ද ඉහල මට්ටමක ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සූගිෂ්වර මහතා සඳහන් කළේ ය. 

ප්‍රධාන ජලාශ 8 ක් මේ වන විටත් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි ලන්දෙකුඹුර මහතා පැවසුවේ, බෝඹුරුඇල්ල, සුගලාදේවි හා මල්ලිපොත යන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ තුනක් ද වාන් දමමින් ඇති බවයි.
 
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 07 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය‍. 

වර්ෂාධික කාලගුණය හමුවේ  දිස්ත්‍රික්ක 18 ක පුද්ගලයින් 34, 880 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වර්ෂාධික කාලගුණය හමුවේ ඇතිවු ආපදාවලින් පුද්ගලයින් 06 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 ක්. 

මේ අතර ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණ. 

ඒ ,  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ය. 

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදි පැවසුවේ, පසුගිය කාලය තුළ ගස් කඩාවැටීමේ සිද්ධීන් ඉහළ යමින් පවතින බවත් එය වැළැක්වීම සඳහා ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මාර්ගය ආශ්‍රිතව ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු ජනතාව දැනුවත් කර විශේෂ කමිටුවක මගපෙන්වීම යටතේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ අනාරක්ෂිත සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් පහත් බිම්වල සිදුවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන බවයි.