සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන සතියේ වැඩවර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන සතියේ වැඩවර්ජනයකට සැරසෙයි...

by Hashini De Mel 23-05-2024 | 6:23 AM

COLOMBO (News 1st) - ලබන 28 වැනි දා දිවයින පුරා සියලු රෝහල්වල සේවයෙන් ඉවත් වීමේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේ, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් සඳහා ලබා දිය යුතු දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේය නිකුත් කර නොමැති වීමත්, විශේෂිත දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේකය නිකුත් කිරීමේදී කණ්ඩායම් 15ක් මගහැර චක්‍රලේකය නිකුත් කිරීමත් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පසුගිය දිනවලදී පළාත් මට්ටමින් වැඩවර්ජන ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවාවේ සියලු කාර්ය මණ්ඩලයන්, සෞඛ්‍ය කාර්ය සහයක කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කළමනාකරණ සහකාර කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කාර්යමණ්ඩලය, ජීව වෛද්‍ය ඉංජිනේරු සියලු කාර්ය මණ්ඩලයන් ඇතුළු වෘත්තීය සංගම් 72කට අදාළ කාර්ය මණ්ඩලය මෙම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ඇතුළත් වේ.