ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි..

කැලණි සහ කළු ගංඟා සුළු ගංවතුර මට්ටමේ... ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 150 ඉක්මවූ වැසි...

by Staff writer 23-05-2024 | 6:15 AM

COLOMBO (News 1st) - කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැලණි ගඟේ අතු ගංගාවක් වන ගුරුගොඩ ඔය සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ හොලොම්බුව ප්‍රදේශයෙනි.

කළු ගගේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඊට අමතරව කළු ගඟ පුටුපවුල, රත්නපුර සහ මඟුර ප්‍රදේශවලින් අවදානම් මට්ටමේ පවති.

නිල්වලා ගඟ අවදානම් මට්ටම පැමිණ ඇත්තේ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලිනි.

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පවතින්නේ ද අවදානම් මට්ටමේයි.

මේ අතර දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

මේ අතර සබරගමුව, පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනු ඇත.