වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත්..

සෞඛ්‍ය , ග්‍රාම නිලධාරී හා සරසවි අනධ්‍යන සේවකයින් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල..

by Staff writer 20-05-2024 | 10:31 AM

 COLOMBO (News 1st) -  සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, ඌව පළාත තුළ අද(20) ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා ඌව පළාතේ රෝහල් ඇතුළු සියලු සෞඛ්‍ය ආයතනවල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි.

පහුගිය බ්‍රහස්පතින්දා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වු‍ණේ, උතුරු මැද පළාතෙන් ය.

මේ අතර, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිර මහතා සඳහන් කළේ ය.

මේ අතර වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 19කි.

15, 000කට අධික අනධ්‍යන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, එකඟ වූ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ කප්පාදු කල සියයට 15ක වැටුප ලබා දීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බලකරමින් ය.

වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ විශ්වවිද්‍යාල රැසක අධ්‍යන කටයුතු අඩාලවී තිබේ. 

මේ අතර, අත්‍යාවශ්‍ය රාජකාරී හැර සෙසු දෛනික රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි. 

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ,  ඒ අනුව අධිකරණ රාජකාරි, හදිසි ආපදා රාජකාරි, මරණ සහතික නිකුත් කිරීමට අදාළ රාජකාරී ඇතුළු අත්‍යාවශ්‍ය සේවා රාජකාරී පමණක් සිදුකිරීමට තමන් පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සේවය ස්ථාපිත කරවාගැනීම, ඊට අනන්‍ය වැටුප් තලයක් ලබාගැනීම , සේවාවට අදාළ දීමනා වැඩි කරවා ගැනීම හා ග්‍රාම නිලධාරී වෘත්තියට හිමි නිසි තැන ලබාගැනීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.