.webp)
COLOMBO (News 1st) - සිරසා නමාමි සිරස වෙසක් කලාපයට සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහ රහත් ධාතූන් වහන්සේ වැඩම කරවීම අද(20) උදෑසන කූරගල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වෙයි.
ඒ සඳහා වන රිය පෙරහර, අද පස්වරුවේ පැල්මඩුල්ල ගනේගම අරමනපොල රන්කොත් රජමහා විහාරස්ථානයට ළඟාවීමට නියමිතයි.
හෙට උදෑසන පැල්මඩුල්ල ගනේගම අරමනපොළ රන්කොත් රජමහා විහාරස්ථානයෙන් පිටත් වන ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර, හෙට පස්වරුවේ ඇහැලියගොඩ විලේගොඩ ශ්‍රී නාගරුක්ඛාරාමය වෙත ළඟා වෙයි.
22 වැනිදා උදෑසන නාගරුක්ඛාරාමයෙන් ආරම්භ වන රිය පෙරහැර එදින පස්වරු 3.00 ට නවගමුව දේවාලය අසලට ළඟා වීමට සැලසුම් කර තිබේ.
එතැන් සිට කැලණි ගඟ ඔස්සේ කැලණිය රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන ධාතූන් වහන්සේ 22 වැනිදා රාත්‍රියේ කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.
කූරගල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කළ ධාතූන් වහන්සේ කොළඹ දෙක බේබෲක් පෙදෙස සිරස වෙසක් කලාපයට වැඩම කරවනු ලබන්නේ වෙසක් පොහෝ දින පස්වරු 2.00 ට පමණයි.
මේ අතර, කොළඹ, මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ වෙසක් පොහෝ දින පස්වරු 3.00ට අලංකාර රිය පෙරහැරකින් සිරස වෙසක් කලාපය වෙත වැඩම කරවීමට කටයුතු යොදා තිබේ.
වෙසක් පෙහෝදා පස්වරු 3.00 සිට සිරසා නමාමි සිරස වෙසක් කලාපය සැදැවතුන්ගේ වන්දනාමනය සඳහා විවෘත කෙරෙනු ඇති.