ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි..

කළු ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර අවදානමේ...ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවු වැසි.

by Staff writer 20-05-2024 | 7:24 AM

COLOMBO (NEWS1ST) -  කළු ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ගංවතුර අවදානම් මට්ටමේ පවතින්නේ, මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් ය.

ඊට අමතරව කළු ගඟේ තවත් අතු ගංඟාවක් වන, මගුරු ගඟ, මඟුර ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය‍.

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතියි.

ඒ අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර,  උඩවලව, අංගමුව, රාජාංගනය සහ පොල්ගොල්ල ජලාශ වාන් දමමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය‍.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවයි.

වැසි සහිත කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයටයි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4759 ක් ඉන් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතා සඳහන් කළේ ය.
 
අධික වැසි සමග දිස්ත්‍රික්ක 8කට නිකුත් කළ නායයෑමේ පුර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි. 

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

මේ අතර, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ යළි සක්‍රීය වී ඇති නායයාම් තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර මහතා පවසයි.

මේ අතර, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි.

දිවයින හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා ඉහළ යා හැකි ය. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර, ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට නිකුත් කළ අනතුරු ඇඟවීම ද තවදුරටත් බලාත්මකයි.