ආර් .රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් සමරු මුද්දරයක්..

කැපිටල් මහරාජා සමූහයේ දිවංගත සභාපති ආර් .රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක්..

by Staff writer 19-05-2024 | 5:28 PM

COLOMBO (News 1st) - කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ 81 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම අද(19) සිදු කෙරිණි.

ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.

කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ 81 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. 

ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති උපුල් බී. දිසානායක සහ මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා 

''මුද්දරයක් නිකුත් කිරීමේ තනි සහා අධිකාරී බලය තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, ගම්මැද්ද පිළිබඳව අපි රූපවාහිනියේ. ප්‍රවෘත්තිවලින් දකිනකොට ඇත්තටම සතුටුයි. ඒ වගේ සංකල්පයක් ඔළුවට ඇවිල්ලා , ඒක මේ මහ පොලොවේ යථාර්තයක් බවට පත් කරන්න පුළුවන් කණ්ඩායමක් හදන්න පුළුවන් නිර්මාතෘවරයෙක්ට තමයි අපි අද මේ සමරු මුද්දරය නිකුත් කරන්නේ. සමරු මුද්දරයක් නිකුත් කිරීම කියලා කියන්නේ අපි හැමෝටම ලබාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒකට අවශ්‍ය වටපිටාව තමන් විසින් සකසා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ රටේ කිර්තිමත් මිනිස්සුන්ට තමයි අපි සමරු මුද්දර නිකුත් කරන්නේ. මිනිස්සුන්ගේ හදවත තුළ රැදෙන මනුස්සයෙකුට නැත්නම් ආයතනයකට තමයි අපි සමරු මුද්දරයක් නිකුත් කරන්නේ. ඉතින් ඔය සියලු දේ කැටිවෙච්ච එක් පුද්ගලයෙකුට තමයි අද අපි මේ මුද්දරය නිකුත් කරන්නේ. ඒක හින්දා ලොකු විශේෂත්වයෙක් තියෙනවා. ඒ හින්දා සමරු මුද්දරයක් නිකුත් කරන්න ඕනේවට වඩා හේතු තියෙනවා'' 

සමරු මුද්දරය නිකුත් කෙරුණේ තැපැල්පති රුවන් සත්කුමාර , නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා සහ කොළඹ ප්‍රාදේශීය තැපැල් අධිකාරී චම්පික පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ය.

සමරු මුද්දරය පළමුවරට පිළිගැන්වූයේ කැපිටල් මහරාජා සමූහයේ සභාපති සශී රාජාමහේන්ද්‍රන් මහතාටයි.

මෙම මුද්දරයේ නිර්මාණ කාර්ය සිදුකළේ මෙරට මුද්දර ගණනාවක නිර්මාණකරුවෙකු වන සනත් රෝහණ වික්‍රමසිංහ මහතායි.

ගම්මැද්ද වැඩසටහනේ පළමු ව්‍යාපෘතියේ සිට ඒ සඳහා දායකත්වය ලබාදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති උපුල් . බී දිසානායක මහතා මෙහිදී හිටපු සභාපතිතුමන් පිළිබඳව මතකය අවදි කළේ ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති උපුල්. බී දිසානායක මහතා

'' මේ ගම්මැද්දේ වැඩසටහනේ ඇත්තටම මේ නිර්මාතෘවරයාට ඕනේ වුණේ තමන්ට හැකි පමණින් හඩක් නැති ජනතාවට හඩක් වෙන්න, දුකට පත් ජනතාවට පිහිට වෙන්න වැඩපිළිවෙළක් දියත් කරන්න. ගම්මැද්ද තුළින් එතුමාගේ ඒ සංකල්පය තමයි දියත් වුණේ. අද වනවිට රටේ සාමාන්‍ය ජනතාව අතර ''බැරි නම් ගම්මැද්දට කියන්න කියන එක'' සමාජගත වෙලා තියෙන වාක්‍යයක් බවට පත්වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. 

කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතා කලාවට සිදු කළ මෙහෙය මෙහිදි අනුස්මරණය කෙරුණේ ඔහු පෞද්ගලිකවම නිර්මාණ දායකත්වය සැපයූ ගීතයකින් ය.

ඒ සිරසින් විවිධ යුගවල බිහිකළ තරු පිරිසකගේ සහභාගීත්වයෙන් ය. 

අද දිනයේදී සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීමේ අරමුණ පැහැදිලි කලේ MTV මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි මහතා ය.

MTV මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි  

'' ගම්මැද්දත් ‍, සභාපතිතුමත් අතර තියෙන සම්බන්ධය මෙතන ඉන්න හැමෝම දන්න දෙයක්. මම අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. අපි ගම්මැද්දෙන් ගිහින් කිව්වොත් සර් මේ ගමට වතුර නැහැ, අපි වතුර දෙන්න හදන්නද කියලා එතකොට සර් කියනවා වතුර විතරක් නෙමෙයි. බලන්න එයාලට කන්න තියෙනවද කියලා. සර් හැමතිස්සෙම අපිට වැඩිය අඩියක් ඉස්සරහින් ඒ ජනතාව දිහා බැලුවා. සර්ට ඕනේ වුණේ රටේ ජනතාව සතුටින් ඉන්නවා දකින්න. අද ආර් රාජාමහනේද්‍රන් මහතාගේ 81 වන ජන්ම දිනය වෙනුවෙන් මේ විශේෂිත සමරු මුද්දරය නිකුත් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින අද ගම්මැද්දෙන් ප්‍රතිලාභ ලබන සියලු ජනතාව වෙනුවෙන් මම හිටපු සභාපතිතුමන්ට ස්තුතිය පල කරනවා. ඔවුන් සියලු දෙනාට අද මේ ස්ථානයට එන්න බැරිවුණත් ඔවුන්ගේ කෘතවේදීත්වය මේ සමරු මුද්දරයෙන් අපි එතුමන්ට පල කරනවා. හිටපු සභාපතිතුමනි , ඔබතුමන් මේ රටට අපි සියලු දෙනාට කළ සේවයට බොහොම ස්තුතියි ''

දිවංගත ආර්.රාජමහේන්ද්‍රන් මහතාගේ 81 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් නිකුත් කෙරුණු විශේෂ සමරු මුද්දරය මෙතැන් සිට ලංකාවේ පිළිගත් මුද්දරයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව හිමිවෙයි. 

ආර්. රාජමහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික ජන සමාජයට සිදුකළ අමිල සහ උදාර මෙහෙවර ජන හදවත් තුළ අනුස්මරණීය වනු ඇත්තේ ඔහු ජාතියට සිදු කළ විශිෂ්ඨ මෙහෙවර හේතුවෙන් ය.

නායකයින් තැනූ උදාර නායකයාණෙනි ඔබේ මෙහෙවර අමරණීයයි..!!