අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව‍

අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව‍

by Staff writer 12-04-2024 | 7:20 AM

COLOMBO (News 1st) - හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල  දෙමළ  අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් ලහි ලහියේ සූදානම් වේ.

පුරාණ සම්ප්‍රදායට අනුව අද දිනය  සැලකෙන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කොනම් දිනය ලෙසයි.

අතීතයේ සිටම  ශ්‍රී ලාංකිකයින් පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදු කළහ.

ඔවුන් මේ කටයුතු සියල්ල පුණ්‍ය කාලය ලැබීමට පෙර අවසන් කළේ ය.

මෙවර අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට (13)  රාත්‍රී 9 යි 5 ටයි.

 හෙට පස්වරු 2.41 ට පුණ්‍ය කාලය උදා වේ.

එය අප්‍රේල් 14 වැනි ඉරිදා අලුයම 3.29 න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

ඒ අනුව හෙට පස්වරු 2.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත්.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ ‍ හෙට (14) රාත්‍රී 11.06 ටයි. 

නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු  දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා. තල - උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම  යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත අප්‍රේල් මස 14 වැනි ඉරිදා  අලුයම  12.06 ට යෙදි තිබේ.

ජ්‍යෝතිශයේ දැක්වෙන්නේ නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි

හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වැනි සඳුදා පෙරවරු  10.17 ට යෙදී  ඇත‍.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිශයේ දැක්වේ.

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන බදාදා උදෑසන 06.52 ට යෙදී  ති‍බේ.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වේ.