කොළඹ-බදුල්ල මාර්ගයේ දුර ගමන් බස් ධාවනය සීමා වෙයි

කොළඹ - බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට දුර ගමන් බස් ධාවනය සීමා කෙරේ..

by Staff writer 11-12-2023 | 7:10 AM

COLOMBO (News 1st) – කොළඹ - බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් අද (11) සිට සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර තිබේ. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි.

ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය - මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ හැකි ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, කෙසේ වෙතත් බණ්ඩාරවෙල සිට සැහැල්ලු වාහන සඳහා පමණක් එම මාර්ගය විවෘතව පවතින බවයි.

මේ අතර, බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.