.webp)
COLOMBO (News 1st) – අදත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.
මේ අතර, මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමග වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
ඒ අනුව රන්ටැඹේ ජලාශයෙන් පහළ මහවැලි ගඟ පරිහරණය කරන පුද්ගලයින් මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.
මේ අතර, පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ බදුල්ල , මහනුවර , රත්නපුර , කළුතර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
දිවයිනේ බොහෝ පළාත්වලට හෙට පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම , සබරගමුව , බස්නාහිර සහ ඌව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.