අද පස්වරුවේත් බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේත් බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 07-12-2023 | 6:35 AM

COLOMBO (News 1st) - අදත් දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. 

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් විය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර පැවති වැසි හේතුවෙන් බෝවත්ත ඔය උතුරා යාමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇත.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි.