ගම්මැද්ද තවත් දරු පිරිසකගේ පවස නිවාලු වගයි..!

ගම්මැද්ද තවත් දරු පිරිසකගේ පවස නිවාලමින්, ගම්මානයකටත් අස්වැසිල්ලක් වූ වගයි..!

by Staff writer 05-12-2023 | 1:03 PM

COLOMBO (News 1st) - වයඹ පළාතේ ගම්මාන රැසක ජනතාව පානීය ජල  ගැටලුවට මුහුණදී සිටින්නේ, දීර්ඝ කාලයක සිටයි.   

ඉබ්බාගමුවේ පිහිටි වෙල්ගාල විද්‍යාලයේ දරු දැරියනුත්  පිරිසිදු ජල බිඳක් නොමැතිව පීඩා විඳි පිරිසක්. 

දරු දැරියන් 360  දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරණ වෙල්ගාල විද්‍යාලයේ සිසු සිසුවියන් මෙතෙක් කාලයක් පවස නිවා ගත්තේ,  ටිකක් දුරින් පිහිටි පොදු ළිඳකින් ලබා ගත් ජලය පානය කිරීමෙනි. 

පානයට එතරම් සුදුසු නොවුණත් කළ යුතු දෙයක්  නොතිබූ නිසාම දරුවන්ට එම ජලය පානය කරන්නට සිදුවිය.  

දරුවො විතරක් නෙවෙයි, අම්මලා තාත්තලාත් වතුර ප්‍රශ්නෙ නිසා අසරණ තත්ත්වයට පත්වූයේ, වතුර පුරවාගෙන ගමට එන වාහනවලින් මුදල් දී වතුර මිලදී ගැනීමට සිදු වූ නිසා ය. 

මෙම ප්‍රදේශයේ ඇතැමුන්  වකුගඩු රෝගයෙන් පවා පීඩා විඳිමින් සිටී. 

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ගම්මැද්ද  ඉබ්බාගමුවේ දරු දැරියන්ගේ පවස නිවාලීමේ  ඒ මහගු කර්තව්‍යට මුල්ගල් තැබී ය.   

එදින වැඩ ඇරඹූ ජල පෙරණ පද්ධතියේ සියලු වැඩකටයුතු අවසන් කර අද ගම්වාසීන්ටත් පාසලේ දරු දැරියන්ටත් තිළිණ කළේ, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල් මහතාගේ ප්‍රධානත්වයෙනි. 

වෙල්ගාල විදුහල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මේ කාර්යය ආරම්භ කෙරුණේ, මහා සංඝරත්නයේ පූර්ණ ආශීර්වාදය හිමිවිය. 

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයයි.

එහි සභාපති සංජය බණ්ඩාර, ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.බී.සී. රත්නායක සහ වෙල්ගාල විදුහලේ විදුහල්පති ඊ.එම්.බී.බී. ඒකනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු  සහ ආරාධිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගිවී සිටියහ. 

ජල පෙරණ පද්ධතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සුපුරුදු පරිදි තාක්ෂණික සහයෝගය ලබා දුන්නේ ය. 

 'රට නගන ජන පවුර ගම්මැද්ද' තවත්  දරු පිරිසකට සහ ගම්වැසියන්ට, මහත් අස්වැසිල්ලක් වූ වගයි...!