ඩයනා, සුජිත් හා රෝහණ බණ්ඩාරට පාර්ලිමේන්තු තහනමක්.

ඩයනා, සුජිත් හා රෝහණ බණ්ඩාරට මාසයක පාර්ලිමේන්තු තහනමක්..

by Staff writer 02-12-2023 | 12:17 PM

COLOMBO (News 1st) –  ඩයනා ගමගේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ තීරණය ක්‍රියාත්මක කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 

ඒ, අද පෙරවරුවේ පැවැති ඡන්ද විමසීමකදී ය.

ගැටුම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඩයනා ගමගේ, කේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන්ට මසක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබුණි.

එය අනුමැතිව පිණිස සභානායක, අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද සභාවට ඉදිරිපත් කළේ ය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායකවරයා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මාස තුනක පාර්ලිමේන්තු තහනමක් හා සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනාට සති දෙක බැගින් පාර්ලිමේන්තු තහනමක් පැනවීමට එම කමිටුවෙන් නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.

එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඡන්දයක් ඉල්ලා සිටි අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් ඒ අවස්ථාවේ සභා ගැබෙන් පිටව ගියේ ය.

ඡන්ද විමසීමේදී වරප්‍රසාද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂව ඡන්ද 57 ක් ලැබුන අතර විපක්ෂව ඡන්දය භාවිත කළේ , දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්දිරන් මන්ත්‍රීවරයා පමණි. 

තවත් මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

මේ එහිදි පැවති විවාදයේදි අදහස් පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,සභානායක අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත රංජිත් මද්දුම බණ්ඩාර ,නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, තලතා අතුකෝරල ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීන් ය.