The Voice හි ගීත ගැන පැවරූ නඩුවක් ප්‍රතික්ෂේප වෙයි

The Voice වැඩසටහනේ ඇතැම් ගීත සම්බන්ධයෙන් 'CeyMusic' ආයතනය MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පවරා තිබූ නඩුව අධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 30-11-2023 | 7:38 PM

COLOMBO (News 1st) – The Voice රූපවාහිනී වැඩසටහනේ දී ඇතැම් සංගීත නිර්මාණ භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාසහිත සී මියුසික් පබ්ලිෂිං පුද්ගලික සමාගම, සීමාසහිත MTV  චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර ඇති නඩුව අද(30) කොළඹ,වාණිජ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ ය.

සී මියුසික් පබ්ලිෂිං පුද්ගලික සමාගමේ නීතීඥවරයා විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුවේ නම් කර ඇති පාර්ශ්වය වැරදි ලෙස නම් කර තිබීම පිළිගනිමින් ය. 

සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ප්‍රකාශ කළේ, ජුලි මස සිට නොවැම්බර් මස අග දක්වා වාරණ නියෝගයක් ක්‍රියාත්මකව ඇති බවත් අද පැමිණ නිදහසේ නඩුවක් ඉල්ලා අස්කරගෙන අලුතින් නඩු පැවරීමට අයිතිය රඳවා තබා ගැනීම විත්තිකරුට සාධාරණ නොවන බවයි. 

විත්තිකරුට දැනටමත් සිදුවී ඇති හානිය මැකී නොයන අතර විත්තිකරුගේ අයිතිවාසිකම් ඉන් අහිමි කරන බවද නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. 

එබැවින්, විත්තිකරුට ගෙවන වියදම්වලට යටත්ව, අලුතින් නඩු පැවරීමට ඉඩ නොතබමින්, නඩුව නිෂ්ප්‍රභ කළ යුතු බව සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.  
 
ඒ අනුව විත්තිකරු දරණ ලද සියලු වියදම් විත්තිකරුට ගෙවීමට යටත්ව, පැමිණිලිකරුගේ නඩුව විනිසුරුවරයා විසින් නිෂ්ප්‍රභ කළේ ය. 

අලුතින් විත්තිකරුට එරෙහිව නඩුවක් පැවරීමේ අයිතිය රදවා ගැනීමට පැමිණිල්ල කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය .   

ජුලියස් ඇන්ඩ් ක්‍රීසි නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා, ෂෙහාන් ගුණවර්ධන මහතා සහ නීතිඥ දුලාංජන ගමගේ මහතා MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටි‌යේ ය.