ධීවරයින්ට කාලගුණෙන් අනතුරු ඇඟවීම්...

ඉදිරි පැය 48 තුළ ගිණිකොනදිග බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා...! ධීවරයින්ට අනතුරු ඇඟවීම්

by Staff writer 30-11-2023 | 4:29 PM

COLOMBO (News 1st) - දකුණු අන්දමන් මුහුදේ සහ ගිණිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ යාත්‍රා නොකරන ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. 

ඒ,  ගිණිකොනදිග දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි. 

ඒ අනූව අදාළ මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. 

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ද, දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී. 

ඒ අනූව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.