මේ මස අවසන් වනතෙක් සවස් කාලයේ තද වැසි

මේ මාසය අවසන් වනතෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි..

by Staff writer 08-11-2023 | 6:12 AM

COLOMBO (News 1st) - මේ මස අවසානය තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ, අද (08) දිනයේත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද හටගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර හපුතලේ ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරදාන ප්‍රදේශයේ ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය ද යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසුවේ, දැදුරු ඔය අත්තනගලු ඔය හා නිල්වලා ගඟ තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

මේ අතර, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ඊයේ (07) පස්වරුවේ තද වැසි ඇද හැලුණි.

ගස් සහ අතු කඩා වැටීම් රැසක් ද සිදු වුණේ වැස්සත් සමග හමා ආ තද සුළඟ හේතුවෙන් ය.

ඒ අනුව කොළඹ නගරය අවට ගස් 32ක් කඩා වැටී ඇත.

ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේ පහත් බිමි රැසක් ජලයෙන් යට වී ඇත.

මේ අතර දැදිගම පොලීසිය අසළ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වූ සීමාවෙදී යතුරුපැදිකරුවෙකු ජල පහරට ගසාගෙන ගොස් තිබේ.

අප වාර්තානකරු පැවසුවේ, එහිදී අදාළ පුද්ගලයා තම යතුරු පැදිය තල්ලු කරගෙන යමින් සිටියදී අනතුර සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේ ඒ අසළ සිටි පිරිස විසින් යතුරුපැදිකරුව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වී ඇත.

තව ද මීරිගම නගරයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් මීරිගම දිවුලපිටිය මාර්ගය මීරිගම නගරයෙන් ජලයෙන් යටව තිබේ. 

මේ හේතුවෙන් මාර්ගවල ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල වුණි.

හම්බන්තොට ප්‍රදේශයට පවතින වැසි හේතුවෙන් කැකිරිඕබඩ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, වරාපිටිය වැවද පිටාර ගලමින් පවතින බවයි.