ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘතයි

කිරිඳි ඔය පිටාර ගැලීමෙන් නිවාස 20 ක් ජලයෙන් යටවෙයි... අවහිර වූ ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘතයි

by Staff writer 25-10-2023 | 8:18 AM

COLOMBO (News 1st) – නිල්වලා ගඟේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අද දිනයේත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීශ්වර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි වර්ෂාවත් සමග ඉහළ ගිය කිරිඳි ඔයේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවයි.

ඇතැම් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කෙටි කලක් තුළ දැඩි වර්ෂාපතනයක් ඇද හැළීමෙන් ඒවායේ ධාරීතාව ක්ෂණිකව වැඩිවිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය. 

මේ අතර අධික වර්ෂාවත් සමග රන්දෙණිය හුණුකැටිය ප්‍රදේශයට ගස් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්, අවහිර වී තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ එක් මං තීරුවක් මේ වනවිට වාහන ධාවනයට විවෘත කර තිබේ. 

මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්.රවින්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ,  කුඹුක්කන - ඔක්කම්පිටිය මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයට මාර ගසක් කඩා වැටීමෙන්, තවදුරටත් අවහිර වී ඇති බවයි.

හිඟරුකඩුව - පස්සර මාර්ගයට ස්ථාන තුනකින් පස් කඳු කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී තිබේ. 

බඩල්කුඹුර , මොනරාගල මාර්ගයේ 11 කණුව ප්‍රදේශයට ගසක අත්තක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රි අවහිර විය. 

කිරිදිඔය පිටාර ගැලීමෙන් වැල්ලවාය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 20 ක් පමණ ඊයේ රාත්‍රි ජලයෙන් යට වූ අතර මේ වනවිට එම ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ. එච්. රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ ය. 

මේ අතර සබරගමුව පළාතේත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු එකෙන් පසුව වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍යම සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පැනවූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ද අද පස්වරුව දක්වා යළි දීර්ඝ කර තිබේ. 

බදුල්ල, හම්බන්තොට, මාතර ,රත්නපුර ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.