අද කොළඹට සේන්දු වෙන චීන නැව

ඉන්දියාව දැඩි අවධානෙන් පසුවෙද්දී අද කොළඹට සේන්දු වෙන චීන නැව

by Sagarika Chathumali 25-10-2023 | 11:53 AM

COLOMBO (News 1st) – චීනයට අයත්, ෂි යෑන් 6 පර්යේෂණ නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබේ. 

ඒ බව තහවුරු කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ,  සැපයුම් ලබා ගැනීමේ අරමුණින් නෞකාව පැමිණෙන බවයි.  

පසුගිය 11 වෙනිදා චීනයෙන් පිටත් වූ ෂී යෑන් සික්ස් නෞකාව අද ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එම දිනවලදිම නාවික හමුදාව ප්‍රකාශ කළේ ය. 

එහෙත් ඉන්දියාව මේ නෞකාවේ ශ්‍රී ලංකා ගමන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවු අතර ඒ පිළිබඳව ඉහළම මට්ටමින් මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයින්ද දැනුවත් කළ බවට එරට මාධ්‍ය වර්තා කළේ ය. 

මේ අනුව නෞකාවේ ශ්‍රි ලංකා ගමන අවිනිශ්චිත වූ අතර ඔවුන් සමග පර්යේෂණ කටයුතුවල නිරතවීමට ගිවිසුම්ගතව සිටි රුහුණ විශ්ව විද්‍යලයද එයින් ඉවත් විය. 

එම තත්ත්වය මත, නෞකාවේ පැමිණිම ලබන මස අග වන තෙක් කල් දමන ලෙස රජය චීනයෙන් ඉල්ලා සිටි අතර විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ බව තහවුරු කළේ ය. 

කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට නුදුරු ඉන්දියන් සාගර කලාපයේ කිසිම් පර්යේෂණ හෝ නිරික්ෂණ කටයුත්තක නිරත වෙමින් සිටි ෂියෑන් සික්ස් නෞකාව අද උදෑසන තිබුණේ  කොළඹ වරාය දෙසට සමීප වෙමිනි.