ඇවිළෙන යුද ගිනි මැද ලෝක බලවතා ඊශ්‍රායලයට...

ඇවිළෙන යුද ගිනි මැද ලෝක බලවතා ඊශ්‍රායලයට...

by Staff writer 18-10-2023 | 2:21 PM

COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපති ජෝ  බයිඩ්න් ඊශ්‍රායලයට ළඟා වී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඊශ්‍රායලය වෙතළඟා  වූ ඔහු ඊශ්‍රායල  අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත බවයි. 
 
කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, කලින් සැලසුම් කර තිබූ ජෝර්දාන සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බවයි. 


ඇමරිකානු ජනාධිපතිවරයා ජෝර්දානයේදී එරට රජු හමුවීමටත්, ඊජිප්තු ජනාධිපති සහ පලස්තීන ජනාධිපතිවරයා හමුවීමටත් සැලසුම් කර තිබිණ.

එහිදී ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බව ද සඳහන් ය.
 

මේ අතර ගාසා තීරයේ -අල්-අහ්ලි අල්-අරාබි- රෝහලේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. 


ගැටුම් හේතුවෙන් මේ වන විට ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ මියගොස් ඇති පුද්ගලයින් ගණන 
4200 කට අධිකයි. 

ගාසා තීරයේ දැවැන්ත පිපිරීම ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිදුවූවක් බවට හමාස් සංවිධානය සඳහන් කර ඇති නමුත් ඊශ්‍රායලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. 

ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනයේ ජිහාඩ් සංවිධානයේ අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවයි. 

වෛද්‍යවරුන්, රෝගීන්, සහ කුඩා ළමුන් රැසක් මෙම පිපිරීමෙන් මියගොස් ඇතැයි සඳහන් ය.

දකුණු ගාසා ප්‍රදේශයට ගමන් කළ නොහැකිව අවතැන් වූ සිවිල් වැසියන් විශාල පිරිසක් ද 
මෙම රෝහල තුළ රැඳී සිට තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළාදැක ඇත්තේ දැවැන්ත යුද අපරාධයක් බව පෙන්වා දෙමිනි.

ඊශ්‍රායල හමුදාව කළ අනතුරු ඇඟවීම්වලින් පසු මේ වනවිට ලක්ෂ 6කට අධික පලස්තීනුවන් පිරිසක් උතුරු ගාසා තීරයේ සිට දකුණට පලා ගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

දහස් ගණනක් ජනතාව මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව පුරා වීදි බැස ඇති අතර, ජෝර්දානය, තුර්කිය, ලෙබනනය, ඉරානය සහ ඉරාකය යන රටවල මෙන්ම බටහිර ඉවුරේ රමල්ලා නගරයේද විරෝධතා ආරම්භ වී තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝහලේ සිදුවූ පිපිරීම හෙළා දැක ඇති අතර පලස්තීන සිවිල් වැසියන්ට 
සහ සෞඛ්‍ය සේවකයින්ට වහාම ආරක්ෂාව ලබා දෙන ලෙසද ඉල්ලා තිබේ.

ගාසා තීරයේ රෝහලක පිපිරීම සිදුවූයේ මෙවැනි පසුබිමකදීයි.

එම පිපිරීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කර ඇත.

මේ අතර ගාසා තීරයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගනිමින් සිටී.