ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 09-10-2023 | 6:21 AM

COLOMBO (News 1st) –  ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

චිත්‍රපට රූගත කිරීමකට ගොස් පැමිණෙමින් සිටියදී ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු තුන්දෙනෙකු රැගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්වුණේ පසුගිය වසරේ ජූලි 02 වැනිදායි.

වසරකට වැඩි කාලයක් ජාතික රෝහලේ සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහුගේ වයස, අවුරුදු 65කි.

ඔහු ප්‍රතිභාන්විත රංගන ශිල්පියෙක්. ටෙලි නාට්‍ය, සිනමාපට අධ්‍යක්ෂවරයෙක්. නිෂ්පාදකවරයෙක්. ගායන ශිල්පියෙක්. ගීත රචකයෙක්. ලේඛකයෙක්. ගවේෂකයෙක්. සංචාරකයෙක් වගේම විචාරකයෙකි.

භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය, කලාව ආදී විෂයන් පිළිබඳ ගැඹුරු පරිචයකින් යුත් මේ අපූර්ව කලාකරුවාගේ උපත සිදුවෙන්නේ 1958 වසරේ ජූලි 8 වැනිදා රාගම පොඩිවී කුඹුර ගම්මානයේදීය.

හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය,  බණ්ඩාරවෙල ශාන්ත මරියා සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වලින් සිප්සතර හැදැරූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

නෙවිල් ඩයස් සුබසිංහගේ වාරුවෙන් යන මිනිස්සු සහ මානවයෝ නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පා තැබූ ඔහු පසුකාලීනව වේදිකාවේ අසම සම රංග පෞරුෂයක් බවට පත්විය.

බෙර හඬ, ලෝමහංස, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, ධවල භීෂණ ඇතුලු නාට්‍ය රැසක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය.

වේදිකාවෙන් පුංචි තිරයට පා තැබූ ජැක්සන්, ටෙලිනාට්‍ය කලාව තුළ කළ හරඹ ලාංකේය ටෙලි ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරිනි.

ඇල්ල ළඟ වළව්ව, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ ආදී ටෙලිනාට්‍යවල ජැක්සන්ගේ භූමිකා අදටත් ජනප්‍රසාදිතයි.

රිදී තිරයේ නූතන රංග පෞරුෂය වූ ජැක්සන් ඇන්තනී සිනමාගමනය සිදුවන්නේ 1993 වසරේදීය.

විසි දැල, ලොකු දුව, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, ගරිල්ලා මාකටින් ඇතුලු සිනමා පට රැසකට රංගන දායකත්වය දුන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානයෙන් 16 වරක් පිදුම් ලබා තිබේ.

රිදී තිරයට ඉතිහාස කතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වෙමින් අබා සිනමා පටය හෙළ සිනමාවට දායාද කළ ඔහු, සමාජශෝධක භූමිකාව නිරූපණය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

ජුලියට්ගේ භූමිකාව, පරාදීසය, අබා, ඇඩ්‍රස් නෑ යන සිනමාපට ජැක්සන් ඇන්තනී නම් සිනමාකරුවා හෙළ සිනමාවට දායාද කළ වත්කම්.

මේ, ජැක්සන් ඇන්තනී නම් ගායන ශිල්පියා අප අතර ඉතිරි කර යන ගීත මතක කිහිපයකි.

පූරක වෘත්තියට නැවුම් හැඩ තල එක්කළ ඔහු, රූප පෙට්ටියට නව්‍යකරණයක් රැසක් හඳුන්වා දුන් විශිෂ්ටයෙකි.

ඔහු නික්ම ගියේ ජැක්සන් ඇන්තනී නම් මහ ගස යට වැඩුණු පැළ ගස්, ජනමාධ්‍ය කේෂත්‍රයේ මෙන්ම කලා කේෂත්‍රයේ ද දලුලමින් පවතින යුගයකයි.

රංගන ශිල්පිනියක සහ ගායන ශිල්පිනියක වන කුමාරි මුණසිංහ මහත්මිය සමග සරණේ බැඳුනු ඔහු සජිත අනුත්තර, අකිල ධනුද්ධර සහ මාධවී වත්සලාගේ ආදරණීය පියාණන් වේ.

කලාවේ සියලු අංශයන් සියුම්ව ස්පර්ශ කළ ජැක්සන් ඇන්තනී නම් ප්‍රතිභාන්විතයාගේ වියෝවෙන් ඉතිරී වූ හිඩැස පුරවන්නට සමතෙක්, මේ දෙරණතදී අපට යළි හමුනොවෙනු ඇති.