පීඩාවට පත් මාතර ජනතාවට සහන සලසන්න - ජනපති

ගංවතුරින් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනම් සහන සලසන්නැයි, ජනපතිගෙන් උපදෙස්

by Staff writer 05-10-2023 | 4:25 PM

COLOMBO (News 1st) - ගංවතුරින් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දෙන ලෙසයි. 

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නැයි ද  ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. 

ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ ගිය හොත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. 

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ දැනුවත් කර තිබේ. 

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පීඩාවට පත්ව ඇති  පුද්ගලයන් සංඛ්‍යාව 9,448 කි.