කුඩා ගඟ මිල්ලකන්දෙන් ගංවතුර මට්ටම් ඉක්මවයි

කළු ගඟේ අතු ගංඟාවක් වන, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගංවතුර මට්ටම ඉක්මවයි.

by Haindu Gihan 01-10-2023 | 8:10 AM

COLOMBO (News 1st) - කළු ගඟේ අතු ගංගාවක් වන, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.

මිල්ලකන්ද මාපකයේ මහ ගංවතුර මට්ටම ලෙස සැළකෙන්නේ මීටර් 8 ක් ලෙසයි. 

අද (01) අලුයම 3 පමණ වන විට එහි අගය සටහන් වී ඇත්තේ මීටර 8 යි දශම 68 ක් ලෙසයි.

කළු ගඟ පුටුපවුල ප්‍රදේශයෙන් පවතින්නේ ද, සුළු ගංවතුර මට්ටමේ බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ඇත.

නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේ යි.

අත්තනගලු ඔය, දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, එස්. පී. සී. සුගීෂ්වර මහතා එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.

මේ අතර දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 1,275 කට අයත් පුද්ගලයින් 5,051 ක් පීඩාවට පත්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අර්ධ නිවාස හානි 316 ක් වාර්තා වන බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ගාල්ල , මාතර , කෑගල්ල , රත්නපුර , මහනුවර , කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර. සබරගමුව, දකුණ සහ වයඹ පළාත් වලට අදත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.