නව පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

by Staff writer 26-09-2023 | 7:46 AM

COLOMBO (News 1st) - ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ සැප්තැම්බර් 22 වැනි දා දිනයෙනි.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත්වන සමාජයක් ගොඩ නැංවීම සඳහා ප්‍රතිසන්ධාන කාර්යාලයක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

අමාත්‍යවරයා විසින් නම් කර ජනාධිපතිවරයා පත් කරනු ලබන නිල බලයෙන් පත්වන එක් සාමාජිකයෙකු සහ අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා පත් කරන වෙනත් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් මෙම කාර්යාලය සමන්විත වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර 3කි.

කාර්යාලයේ සභාපතිවරයා පත් කළ යුත්තේ, ජනාධිපතිවරයා විසින් වන අතර එය අමාත්‍යවරයාගේ නිර්දේශය මත සිදු කළ යුතුයි.

ජාතික සමගිය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනු ලබන සහ විවිධ ප්‍රජාවන් අතර ආතතීන් හා ගැටුම් ඇති කරනු ලබන කාරණා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවට නිර්දේශ කිරීම ප්‍රතිසන්ධාන කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයකි.

අභ්‍යන්තරව අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීම, හිටපු සටන්කාමීන් පුනරුත්තාපනය කිරීම සහ යළි සමාජගත කිරීම වැනි පශ්චාත් ගැටුම් සම්බන්ධකාරණා සඳහා විසඳුම් සෙවීමට ප්‍රතිසන්ධාන කාර්යාලයට බලතළ පැවරේ.

ප්‍රතිසන්ධාන කාර්යාලයේ කටයුතු පරිපාලනය කිරීමට ලේකම් කාර්යාලයක් ස්ථාපිත කළ යුතු අතර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කළ යුතුයි.

කාර්යාලය වෙත වැරදි තොරතුරු ලබා දෙන සහ එහි කාර්යයන් ක්‍රියාත්මක කිරීමට බාධා කරනු ලබන තැනැත්තන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට මෙම පනත් කෙටුම්පතින් අවසර ලබා දී තිබේ.