ජපානයේ අනාගතය වැඩිහිටියන්ගෙන් පිරී යයි ද?

දිනෙන් දින වැඩිහිටියන් වැඩි වෙන ජපානයට අනාගතේ කුමක් වෙයි ද?

by Sagarika Chathumali 20-09-2023 | 11:52 AM

COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට ජපාන වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ  ඊට වැඩි බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 

ජාතික දත්ත වාර්තාවන් උපුටා දක්වමින් වි‍දෙස් මාධ්‍ය වාර්තා කරන්‍නේ,  මිලියන  125ක් වූ ජපාන ජනගහනයෙන් 29.1% වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි  පුද්ගලයින් බව ය. 

ජපානය සැලකෙන්නේ, ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකක් ලෙසයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ ජනතාව රටක වැඩිහිටි ජනගහනය ලෙස සැලකෙන අතර ඒ අනුව ජපානය ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස සැලකේ. 
 
24.5%ක වැඩිහිටි ජනහනයක් සිටින ඉතාලිය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර  23.6% ක ජනගහනයක් වාර්තාවන ෆින්ලන්තය ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ. 

ජනගහන සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික පර්යේෂණායතනයට අනුව 2040 වනවිට ජපාන ජනගහනයෙන් 34.8% ක් වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනය වන බවට ගණන් බලා ඇත. 

එරට ජාතික ශ්‍රම බලකායෙන් 13% ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනහනය විසින් නියෝජනය කරනු ලබයි. 

ජපානයේ අසල්වැසි රටවල් ඇතුළු බොහෝ රටවල උපත් අනුපාතිකය මන්දගාමී වන නමුත් ජපානයේ මෙය උග්‍ර තත්ත්වයක පවතී. 

පසුගිය වසරේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව ජපානයේ උපත ලද ළඳරුවන් සංඛ්‍යාව 800,000 කට වඩා අඩු වන අතර මෙය සැලකෙන්නේ , 19 වන සියවසේ වාර්තා  වූ අඩුම උපත් සංඛ්‍යාවක් ලෙසයි.  
   
1970 ගණන්වලදී එම අගය මිලියන 2කට වඩා වැඩි විය. 

මේ අතර  අග්‍රාමාත්‍ය Fumio Kishida මෙම වසර ආරම්භයේදී කියා සිටියේ, තම රටේ  උපත් අනුපාතය අඩුවීම නිසා සමාජයක් ලෙස ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි.