මාතෘ හා ළමා සායන සඳහා එන කෘතිම බුද්ධිය

මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට සෞඛ්‍ය කාර්යංශය තීරණය කරයි.

by Staff writer 17-09-2023 | 8:13 AM

COLOMBO (News 1st) - මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබේ.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික දත්ත එක්රැස් කිරීම ඉදිරි මාසයේ දී  සිදු කිරීමට නියමිත බවයි.

මෙය ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය, කැනේඩියානු ආණ්ඩුවේ ප්‍රතිපාදන යෝජනා ක්‍රමයක් යටතේ සහ තවත් ආයතන කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර මෙම කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් අනතුරුව එම කළලයට, මවට සහ දරුවාට පසු කාලීනව සිදු විය හැකි, සංකුලතා පුරෝකථනය කිරීමට ද හැකියාවක් ඇති බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ ය.