අදත් දුම්රිය ධාවනයට බාධා...

දුම්රිය රියැදුරන් තවදුරටත් වැඩ වර්ජනයේ... අදත් දුම්රිය ධාවනයට බාධා...

by Staff writer 13-09-2023 | 6:18 AM

COLOMBO (News 1st) - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ ද තම වැඩ වර්ජනය අත්නොහරින බව ලොකොමොටොව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

එහි ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා බලධාරීන් කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගත යුතු බවයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අදත් (13) දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවය.

කෙසේ වෙතත් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය 12 ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක්, කැලණි වැලි මාර්ගයේ දුම්රිය 4 ක් හා හලාවත මාර්ගයේ දුම්රිය 4 ක් කොළඹ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව පාලක මැදිරිය පැවසීය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග දුම්රිය ස්ථාන හා මගීන්ගේ ආරක්ෂාව සඳහා යුධ හමුදාව කැඳවා ඇති බවයි.

දුම්රිය රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ මගීන් රැසක් දැඩි පීඩාවට පත්විය.

වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12) අවලංගු කෙරුණු දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 120 කි.

කෙසේ වෙතත් රාත්‍රී තැපැල් දුම්රිය සැලසුම් කළ පරිදි ධාවනයට පියවර ගත් බව දුම්රිය පාලනාධිකාරිය සඳහන් කළේ ය.

මේ අතර ධාවනය වූ දුම්රියවල පැවතියේ අධික මගී තදබදයකි.

අධික මගී තදබදයත් සමග දුම්රියක වහලයක් මත ගමන් කළ තරුණයෙකු ඉන් ඇද වැටී ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර දුම්රියකින් වැටී තරුණයෙකු තුවල ලැබීය.