දුම්රිය වහළ මතින් වැටී මියගිය තරුණයා වෙනුවෙන් කැබිනට් හමුවේදී ශෝකය පළ කෙරේ

by Sagarika Chathumali 12-09-2023 | 2:19 PM

COLOMBO (News 1st) -  දුම්රියක වහලක් මතින් ඇද වැටී අද (12) පෙරවරුවේ මියගිය  18 හැවිරිදි තරුණයා වෙනුවෙන් කැබිනට් ප්‍රකාශන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ශෝකය පළ කෙරිණ. 

''කැබිනට් ප්‍රකාශන දැනුම්දීමට ප්‍රථම ප්‍රවාහන මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා වශයනේ අද දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනීතික වර්ජනයක් හේතුකොට ගෙන මියගිය නිරායුද අවිහිංසක දරුවෙක් වෙනුවෙන් විනාඩි කිහිපයක ශෝකය පළ කරනවා ''

                                       - බන්දුල ගුණවර්ධන  -

රාගම සහ කැලණිය අතර පිහිටි හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය වහල මතින් ඇද වැටී 18 හැවිරිදි  තරුණයා එලෙස ජීවිතක්ෂයට පත්විය.

මෙය සිදුවුයේ දුම්රිය රියැදුරන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙ හේතුවෙන් අද පෙරවරුවේ සිට මගීන් දැඩි පීඩාවකට පත්ව සිටින පසුබිමකයි. 

ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ තරුණයා මොරටුවේ පිහිටි කාර්මික පුහුණු ආයතනයක පුහුණව ලබමින් සිටි අයෙකි. 

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට එම තරුණයා රාගම දුමිරිය ස්ථානයෙන් ගොඩ වී අති බවයි.

ඔහු දුම්රියේ වහල මත නැගී ගමන් කරමින් සිටි බවත්, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇද වැටුණු බවත් සිද්ධිය දුටු කාන්තාවක් ප්‍රකාශ කළා ය.