දුම්රියෙන් වැටී මියගිය තරුණයාගේ මරණයට වගකිව යුතුනම්, මම ඉල්ලා අස්වෙනවා - ඇමති බන්දුල

by Staff writer 12-09-2023 | 4:44 PM

COLOMBO (News 1st) - අද (12) මධ්‍යම රාත්‍රියේ සිට  දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි, තමා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසී ය.   

ඒ රාගම සහ කැලණිය අතර පිහිටි හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය වහල මතින් ඇද වැටී 18 හැවිරිදි  තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. 

අමාත්‍යවරයා පැවසුවේ, තමා මේ මරණයට වගකිව යුතුනම්, එම අවස්ථාවෙම ඉල්ලා අස්වන බවයි. 

''මම මරණයට වගකිව යුතු නම්, මම ඒ වෙලාවෙම ඉල්ලා අස්වෙනවා''  

දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු උසස් නිලධාරීන් ද මීට වගඋත්තරකරුවන් නොවන බව පැවසූ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ,  ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවා ඒ තුළින් දරුවෙකු මරණයට පත් කළ ඒ පාර්ශ්ව සියලු දෙනා ඊට වගඋත්තරකරුවන් වන බවයි.  

''වෘත්තිය සමිති ත්‍රස්තවාදය තුළින් අමාරුවෙ වැටිලා තියෙන රටකට තව පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. මේ මරණය විසින් අපිට බල කර කියා සිටින්නේ, වෘත්තිය සමිති ත්‍රස්තවාදයට විරුද්ධව යම් විනයානුකූල ක්‍රමවත් ජාතික වැඩපිළිවෙළක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව '' 
 - ඇමති බන්දුල - 

තවද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ අපක්ෂපාති පරීක්ෂණයක්  කළ යුතු දන්වා අද පස්වරුවේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.