දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්

දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන්

by Staff writer 11-09-2023 | 4:05 PM

COLOMBO (News 1st) – දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. 

අද උදෑසන 9.00 පමණ සිට කොළඹ දුම්රිය අංගන සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ, දිරි දිමනා හිමිනොවීමට විරෝධය පළ කරමිනි. 

සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව වෘත්තිය සමිති පැවසී ය. 

ඔවුන් සඳහන් කළේ, ප්‍රමාද වී ඇති දිරිදීමනාව ලබන 25 වැනිදා ගෙවීමට සාකච්ඡාවේදි එකඟ වූ බවයි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, අද දහවල් කාලයේ දුම්ර්ය ධාවනයට බාධා එල්ල විය. 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන්, එක් දුම්රියක් අවලංගු කිරීමට ද සිදුවූ බවයි.

ඊට අමතරව සෙසු සියලු දුම්රියන් ප්‍රමාදවී ධාවනය වූ බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

මේ අතර, අද පස්වරුවේ සිය දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

කෙසේ වෙතත්, ඇතැම් දුම්රියන් තවදුරටත් ප්‍රමාද වී ධාවනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසී ය.