UNHRC 54වැනි සැසිවාරය අද ඇරඹේ..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද ඇරඹේ.

by Staff writer 11-09-2023 | 6:10 AM

COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.

පලෙයි දි නේෂොන් නම් වූ ලෝකයේ විශාලතම රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වන එය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි.

චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක්, මෙවර සැසිවාරයේ ප්‍රධානත්වය දරයි.

සැසිවාරයේ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සභාව ඇමතීමට නියමිතයි. 

සැසිවාරය තුළදී ගෝලීය වශයෙන් වැදගත් වන විවිධ මාතෘකා පදනම් කරගනිමින් අන්තර් ක්‍රියාකාරී සංවාද 29 ක් පවත්වනු ඇති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියයි.

මෙවර සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලඥයින් සහභාගී නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා වගවීම අඛණ්ඩව සිදු නොවන බවයි.

මෑත කාලීනව මෙරට මානව හිමිකම් උල්ලංඝන වී ඇද්ද යන්න සහ බලය අනිසි ලෙස භාවිත කර ඇද්දැයි සොයා බැලීමට අවදානය යොමු කළ යුතුව ඇතැයි එම කාර්යාලය සඳහන් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ පාලනයක් සහ නව දැක්මක් බවයි.

එහෙත් ඓතිහාසික දේශපාලනික පරිවර්තනයක් සඳහා එම ජන අරගල ප්‍රමාණවත් නොවූ බව ඔහු පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි.