වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ජය..

බංග්ලාදේශයට එරෙහිව සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක වාර්තාවක් අලුත් කරයි..

by Haindu Gihan 10-09-2023 | 8:01 AM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී බංග්ලාදේශය ලකුණු 21කින් පරාජය කරමිනි.

කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව,සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 257කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කළේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 50යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 48යි පන්දුවක් තුළ ලකුණු 236කට දැවී ගියේ ය.

දසුන් ශානක, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 3 බැගින් බිඳ හෙළුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ අඛණ්ඩව ලැබූ 13වැනි ජයග්‍රහණය මෙය වීම ද, විශේෂත්වයකි.

ඒ අනුව අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජය ගත් දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වූ අතර එක්දින තරග රටාව  තුළ අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගත් කණ්ඩායම ලෙස ද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් විය.

එම අවස්ථා ගණන 13 කි.

තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි ටී.වී වන් නාලිකාවෙන් සහ සිරස ටී.වී වෙබ් අඩවියෙන් සජීවිව නැරඹිය හැක.